Sunday, September 13, 2015

කුරුළු ගීතය..

ආස නැද්ද කුරුල්ලෙකුත්
නිල් අහසේ
ඔරු පදින්න
ලොවට හොරා
පෙම් කරලා
කිරිල්ලියක්
කැන්ද එන්න..

හංස හැඩති වලාකුලක්
අහස් ගඟෙන්
කුලියට ගෙන
දවස් හතක් කිරිල්ලි හා
ආදරයෙන් ඔරු පදින්න..

එයත් එක්ක පාවීලා
අහසෙ මාලිගා හදන්න
දවස් හතක්
මදි වේවී
පොඩි අත්තක
කූඩු වෙන්න..

ගහක් උනත් කැමති නැද්ද
කුරුල්ලෙක්ට
අතක් දෙන්න
කවදාහරි එක් දවසක
පුංචි පැටවු දුවපනිද්දි
ගහට උනත් කදුළු ඒවි
පොඩි පවුලක්
නොමැති දුකට..

#_අනුsh_

Friday, August 28, 2015

මල් පෙත්තට…

..

මල් පෙත්තට මහ බරක්ද
පිණි බිදුවක් දරා ගන්න
මහ පොළවට වීසි වෙලා
බිදිලා යන හැටි බලන්න..
..

බිඟුන් ඇවිත් හැමතිස්සෙම
කරදර තිස් දෙක දෙන විට
මලක් ඇයිද නිහඩ උනේ
කිසිම දෙයක් නොවුනු ලෙසට..
..

දැවටී සිටි පිණි බිදුවක්
බිම දමලා පාගනකොට
මලක් ඇයිද නෙත් හෙලුවේ
අයාලෙ යන බඹරෙක් වෙත..

#_අනුsh_

Saturday, August 22, 2015

ගොළු අප්පචී..

ගොළු අප්පච්චී....

...
කටුක ඇස් හිනහෙද්දි තිස්සෙම
නුඹ කියන දේ දැනෙනවා
ජීවිතේ නම් බර වැඩියි මට
සිල්ලරේටම ගෙවෙනවා..

...
දහදියට දිය වෙච්ච ජීවිතෙ
සිහිලසක් දැන් යදිනවා
උඹ දකින එක් වරක් පාසා
පිරිත් පැන් මට ඉහිනවා...

...
ගිනි ගත්ත ඒ සියුම් වැලි මත
හිරිකඩක් වී වැටෙනවා
දෝරෙ ගලනා නුඹේ සෙනෙහස
හදවතින් මං යදිනවා..

...
කෝටු පාරට රිදුන හදවත
ඇස් දෙකෙන් මගෙ හඩනවා
උඹ කියාදුන් දහම හැමවිට
ලොවේ හැමටම කියනවා...

...
ජීවිතේ එක් සැදෑ වරුවක
නුඹ ලඟට විත් හඬනවා
ගොළු උනත් අප්පච්චියේ උඹේ
ඇස් කතාවක් කියනවා...

..
#_අනුsh_

Saturday, August 8, 2015

ලේ වල පාට

ලේවල පාට.....

මං උඹේ පිටිපස්සෙන් ඇවිත්
පිහියෙන් ඇන්නා
ඒ උඹ මට වැරැද්දක්
කරපු නිසා නෙමෙයි
උඹ මගේ 'ජාතියේ'
එකෙක් නෙමෙයි කියල
'අනිත් උන්' කියපු නිසා...
උඹ කෑගැහුවෙ නෑ
ඒත් උඹෙන් වැටෙන
ලේ බිංදු විලාප දුන්නා..
මං ඒ ලේ බිංදුවල
පාට හෙව්වා..
ඒවා
සිංහල පාටවත්, මුස්ලිම් පාටවත්,
දෙමළ පාටවත් නෙමෙයි බං..
ඒවා
අපේ පාට......
"මනුස්ස පාට"......

#_අනුsh_

Wednesday, August 5, 2015

හිමිකරුවෙක් නැති මකුළු දැල

හිමිකරුවකු නැති මකුළු දැලක්...
...

මාස දෙකකුත්
දවස් දහයක්
ගතවෙලා
දැල එලපු ඒ
මකුළුවා දැන්
මියැදිලා..
එලපු දැල තාමත්
එතන ඇත
සැගවිලා
අයිති කරුවෙක්
නෑනෙ ඒකට
හරිම මූසල
පැහැ වෙලා..
...

පුංචි කුරුමිණි
වර්ණ සමණොළ
කෙල්ලො නිතරම
පැටලිලා
දඟලමින් අඩනවා
හැම දින
නෑනෙ වීරයෝ
හැම දෙනා..
...

කුසට අහරක්
නොමැති වූ සද
හාමතේ උන්
හැමදෙනා
මකුළු වරිගෙට
සාප දීලා
මැරී යනවා
කුණු වෙලා..
...

#_අනුsh_

Thursday, July 30, 2015

ජීවිතේ රහ

රහ ජීවිතේ...

උපන්දා සිට
'සූකිරි' පමණක් කෑ එකෙක්
ජීවිතේ
'පැනි රසයි' කීය.
අහම්බෙන් බෙහෙත් පෙත්තක්
හැපූ එකෙක් කීවේ
ජීවිතේ
'තිත්ත' බවය...
නමුත්
උන් දෙදෙනාටම
වැරදී තිබිණ..
බොහෝ කලකට පෙර
'නෙල්ලි' ගෙඩියක්
කෑ එකෙක්
ජීවිතේ
'නියම රස'
වටහාගෙන තිබිණ...

#_අනුsh_

Sunday, July 26, 2015

හඳේ ලස්සන...

හදේ ලස්සන...

කලා සොළොසේ
පුරහදේ රුව
වැවේ රැලි මත
සිතුවමක් වී
රගන හැටි මං බලනවා දැක
එයා කිව්වා මූහුණ කළු කර
'ඒ දවස්වල
වගේ නෙමෙයි අද
හදේ රූපෙත්
කැත වෙලා
හරියට'....

#_අනුsh_

Friday, July 24, 2015

ආදරණීය ආමන්ත්‍රණය

ආදරණීය ආමන්ත්‍රණය....

ෆැන්ටසි ධනපති
පංතියේ
සූටි නෝනා කෙනෙක්
අහිංසක නිර්ධන
පංතියේ
සේවකයාට මෙසේ
ආදරෙන් ආමන්ත්‍රණය කළාය.
"දත් තිස් දෙකම පෙන්නා විරිත්තන
කළු කුමාර භූත තඩියා..."

#_අනුsh_

සියුම් ඉකිය

සියුම් ඉකිය....

ගොරහැඩි මගෙ
අත්ලෙ පැටළුණු
සිනිඳු සුසිනිදු
නුඹේ ඇගිලි තුඩු
කතාවක් මට කියනවා..

කොහොම කෙලෙසද
අත් හරින්නේ
සියුම් ඉකියක්
ඈත එනවා..

නිවාඩුව කෙලෙවර
වෙලා අද
යා යුතුයි සේවා
මුරය වෙත
රත්තරන් නුඹ
පණ වගේ මං
රකිනවා....

ගිහින් එනකන්
ඉකි නොගහ මගෙ
පැටව් බලපන්
උඹ වගේ මට
මගේ පැටව්න් වටිනවා....

#_අනුsh_

Saturday, July 18, 2015

මලක් ඇඩුවා...

මලක් ඇඩුවා දිගට හරහට....

ඈත කෙලෙවර
පුවක් ගහ යට
දෙතුන් දවසක් අඬ අඬා..
දිගට හරහට වැරදි කීවා
මලක් තණකොල
දුක් වෙලා..

කෙලින් ඇස් දෙක
වත්තෙ හරි මැද
රෝස පඳුරක් ඇත බලා..
නිතර ඔච්චම් කළා මා හට
එයා හරි ලස්සන නිසා..

ගෙදර ඇත්තොත්
කිසිම දවසක
බැලුවෙ නෑ මං ගැන සොයා..
රෝස පදුරට ආලෙ කෙරුවා
පුංචි දැරිවී සෝබනා..

බිඟුන් ඇවිදින්
විහිළු කෙරුවා
සුවඳ ලස්සන නැති නිසා..
මගේ ලස්සන පුංචි හදවත
හීරුනා දුක වැඩි නිසා..

මිනිස් හිත් ගැන
නිතර පත පොත
තුලින් දැක්කා කියවලා..
ඒත් කොහොමද නපුරු මා හට
ලොවේ මල්වැල් හැමදෙනා..

නිතර ඇහෙනව
රේඩියෝවෙන්
සිංදු කියනා මල් ගැනා..
උපන් දා සිට
බලං හිටියා නෑනෙ මං ගැන
ගායනා..

එක්කො කරුමෙයි
සිතා නාඩමි
කාටවත් නෑසෙන නිසා..
අනේ ආසයි බුදුන් පාමුල
පරව යන්නට හිනහිලා..

#_අනුsh_

ආදරණීය ෆර්මීනා දාසාට

ආදරණීය ෆර්මිනා දාසාට...

ෆර්මිනා,
කොට්ටන් ගහ යට
පෙර දා තනියම
උඹේ මැහුම් වැඩ
කරන අතර තුර
කවි පොත ගෙන මම
බැලුවා කවි නොව
නුඹේ දෑස් දෙස...

ආලය පෑවේ
ආලයට ම නොව
ආලය පෑවේ
පෙම් පත් වලටද?
සිතුවා තනියම
සින්න කරපු සද
මා බැදි ආලය
කොලරා කාලෙට...

හිමිදිරි අළුයම
මිහිරි ගීත නද
වැයුවා තනියම
නුඹේ නාමයට
උඹ වැතිරී ගාදිනිය
යහන මත
අහිමි කලේ මගෙ
සුහුඹුල් ආලය....

#_අනුsh_

Thursday, July 16, 2015

දුප්පත් නැති දුප්පත් අපි..

දුප්පත් නැති දුප්පත් අපි...

අසරණයි පොඩි මල්ලියේ උඹ
අසරණයි උඹ දිහා බලන මම
පාර්ටි දාලා නටන අපි ගැන
කලකිරෙයි උඹෙ
මුහුණ දැක්කම...

පොළී විල්බට්ගෙ දෝණී
කටකාරයි බං නම සුගන්දී
උපන්දිනේ හරි ජයටම ගත්තා
ඇගෙ නෙමෙයි බං
'ටෙඩි බෙයාර්ගේ' ...

කෑවෙ නෑ බං
හොදට බිව්වා..
බීල බීලා
හොදට නැටුවා..
ලීලවතී බං ගෙයි වැඩකාරී
කෑම විසිකලේ ඒ මහ ගෑණී..
හිරිවැටෙයි දැං
උඹව දකිද්දී...

ඇපල් කනවා එහේ බල්ලෝ
ඇදුම් අදිනව එහේ පූසෝ
නුඹේ කුසගිනි
නිවාලන්නට
පුංචි කදුළු කැට
ඔච්චම් කර කර
පාර හොයයි අද
බිමට වැටෙන්නට...

#_අනුsh_

වාසිය, කරුණාපාල, දේවදත්ත

වාසිය, කරුණාපාල, දේවදත්ත...

වාසිය කීයද?
"බින්දුව" වේ නම්
'කරුණාපාල' ත්
තිරිසනෙක් මට
නරකයෙක් මට
දුර්ජනයෙක් මට..

වාසිය කීයද?
"දහය" කිව්වොතින්
'දේවදත්ත' ත්
දෙවි කෙනෙක් මට
ශක්‍රයෙක් මට
'අපේ එකෙක් මට' ...

#_අනුsh_

Wednesday, July 15, 2015

කුරුට්ට

කුරුටු නොගෑ මගේ කුරුට්ට....

සිහගිරි ආමි
ළදුන් දිටිමි
හැගුම් බෝමි
ගලේ ඉඩ මදි
ආපසු හැරෙමි
ගෙදර ගොස් ලියමි...

#_අනුsh_

Monday, July 13, 2015

හේනේ දිවිපෙත..

හේනේ දිවිපෙත...

බිදී ගියපු දා
පියෙකුගෙ සුසුමන්
අලි වංගෙඩියට..
පොඩිපට්ටම් වූ
ඉකි බිදුමන් මැද
අම්මා නැග්ගා
පලු ගහෙ පැල වෙත..

අකුරු ගැලපුවේ
සෝ සුසුමන් මැද
මසිත පා වුනේ
හේනේ පැල වෙත..
දහවල බත වෙත
දුව යමි හේනට
බත් ගෙඩියට බෑ
කුස පුරවන්නට..
ගඩා ගෙඩි ටිකයි
පිරෙව්වෙ හිඩැස්ස..

මවගේ වීරිය, රූපේ සෝබන
අහිමි කලා ඒ
හේනේ වැඩ ගොඩ..
මහ රෑ වල් අලි
ඌරන් ආ විට
උදෑසනට ලතැවුල්
ඉහ ඉද්දර..

දහදිය හෙලුවත්
එක්වී හැම විට
නොකලා පෝසත්
හේනේ ගෙඩි ටික..
පාසල් කාලය,
මවගේ දාහය
උදුරා ගත් ඒ
හේනේ දිවිපෙත
අවසන් නෑ අද
අපි දුප්පත් තව....

#_අනුsh_

Saturday, July 11, 2015

හිඟන ආතා...

හිගන ආතා---

හිගන ආතා කෙනෙක්
වූවත්
මාත් ආසයි
පිං පුරන්නට..

වපර කරමින්
බැලුම් හෙලමින්
වීසි කෙරුවා
විස්සෙ කොලයක්..

අනේ නෝනේ.......

අත පෑවේ මං
ඔය උත්තමියට
මල් මිටක් ගෙන
සුදු වතක් ඇද
පිං පතන්ටයි
මගේ යෝධිට...

ඈ ගිහිල්ලා
හත් දවසයි අද
කවුරුද දන්නේ
'හිත් කියවන්නට'...??

#_අනුsh_

Friday, July 10, 2015

නොකී කවිය…

නොකී කවිය... <3 <3

..
බෝපත් සිසිලක්
ගෙනෙයි සුසුම් පොද
බෝදුක් වින්දෙමු
මිතුරු විලාසෙට..

..
බෝසත් ආලය
නුඹට පුදපු දින
කදුළු ඉණුව
මතකයි රන් මැණිකෙට..
එකතු කලේ මං
පොල්කටු දෙකකට..

..
තිත්ත කැකිරි ඇට
සීසීකඩ අද
නුඹගෙ හැසරැල්
ගෙනෙයි සුවබර..
මිල නොකරමි මම
මහ ඉඩමක් ලෙස..

..
බොරළු ඇනුන
මේ ගමන පුරාවට
නුඹ ඇඩුවේ නෑ
ළදරු විලාසෙට
පැටලී හිටියා
සුලැගිල්ලක් මත..

..
හැත්තෑ සන්ධිය
පහුකරනා සද
අපි ළග නෑ නෙව
පුංචි පැටවු ටික
උන් දුර ගෙනිහින්
සිල්ප සාස්තර..

..
කවියක් තිබ්බා
දිවිය පුරාවට
උඹ තුරුලට ගෙන
කොදුරාලන්නට..
ඉලුක් හෙවන යට
බංකු පොඩිත්තක
මගේ කවිය
පලදමි රන් මැණිකෙට...

..
#_අනුsh _

සරුංගල්…

හංදියේ පොඩි
සුමනෙ අයියගෙ
ලෑලි කඩයට
හනික දුවලා
පාට තුනකින්
තෝරලා මං
හොදම සවුකොළ
තුනක් ගත්තා..

..
මොණරු වවුලෝ
කොම්බු බෙරවෝ
ආකහේ හරි
හැඩට නැටුවා
ආස හිතිලා
මාත් හිමිහිට
පුංචි සෙබඩක්
පාට කෙරුවා...

..
දන්න සිල්පය
එකතු කරමින්
පුංචි මොණරිව
යසට වැඩුවා
පාට තුනකට
අලවලා මං
ඈත අහසට
පූජ කෙරුවා...

..
ගිණි දවාලක
අහස බල බල
උඹ රඟන හැටි
නෙතට වැටිලා
අමුතු ලෝකෙක
පාවෙමින් මම
තිතක් වෙනකන්
බලා උන්නා..

..
පාට පාටින්
සරුංගල් පොඩි
එක එකින් එක
පෙලට තිබුණා
අයිති කාරයො
නූල් දීගෙන
ඔහේ කට උඩ
බලං හිටියා..

..
නූල් ඉවරයි
උඹත් මගෙමයි
අමුතු හීනෙක
මාත් හිටියා
කුණාටුත් නැති
අමු දවාලක
උඹත් පිටගම්
යනව දැක්කා...

..
#_අනුsh_

Thursday, July 9, 2015

කොහොඹ ගහ

කොහොඹ ගහ…


කොහොඹ ගහ මේ
ඇයිද කලබල
වැඩී උන්නා
නේද සරුවට…


කොළ හැලීලා
යනව එක දෙක
කෙදිරියක් මේ
ඇයිද හිමිහිට…


බද වටේ දැවටීල
හැම විට
ඉන්නවා දුටුවානෙ
හැම දන…


සාප ලත් ඒ
බ'වත් උදවිය
කැරලි ගැසුවේ
හොරෙන් නුඹලට…


කාෂ්ටකම මහ
ගිනි දවාලක
උනත් නූනත්
උඹේ ලෝකය
පාට වැටුනා
හරිම මිහිරිය…


එපා වී ඇති බවක්
ලෝකය
කියනු ඇසුනා
ළගම ගසකට…
දිරා යයි බද
සුළගෙ වේගෙට
පැල්ලමක් ඇත
ඇග වටේටම
ලකුණු තිබුණා
වැලක කරවිල…

.
#_අනුsh _